Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post

කලක් රෝගාතුරව සිටි කෘතහස්ත රංගන ශිල්පිණී මර්සි එදිරිසිංහ මහත්මිය අද උදෑසන මෙලොවින් සමුගත්තාය. මිය යන විට එතුමියගේ වයස අවුරුදු 64 කි.



1964 වසරේ කලාලොවට පිවිසි මර්සි එදිරිසිංහ මහත්මියගේ අපූරු රංගන හැකියාවන් බාල මහළු කොයි කාගේත් මුවගට සිනාවක් එක් කලා නොඅනුමානය. ඇය වේදිකාවේ පෙරලියක් කලාය. 'තාරාවෝ ඉඟිලෙති' වේදිකා නාට්‍යයේ 'මඬේ ළගින තාරාවන් නාවන්නද මං' ගීතය මුවග තිබූ කෙනෙක් සොයගත නොහැකි විය හැක. අඩු තරමේ පාසලේදී "මෝඩ ගෑණි මං" කොටස හෝ ඔබ කියා තිබෙනවා විය යුතුය. 64 දී ගුවන් විදුලියේ "නවක මඬල" ‍වැඩසටහනට සහභාගීවෙමින් ඇය තම රංගන දිවියට පය තැබුවාය. 1966 දී "ඒ" ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පිනියක වීමට සමත් වූ ඇය එම වසරේම වැලිකල රත්නයන්ගේ "උගුරට හොරා බෙහෙත්" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූවාය. පසු කාලීනව සුගතපාල සිල්වා සූරීන්ගේ නිල් කට්රොල් මල්ල, දුන්න දුනු ගමුවේ, හිත හොඳ අම්මණ්ඩි, තුරඟ සන්නිය, මුතු කුමාරි, නන්දි විසාලා, හරිම බඩු හයක්, ප්‍රැන්සිස් වන්නිආරච්චිගේ රෑ රැජිනට දරු සම්පත්, පතිරාජ එල්. එස්. දයානන්දයන්ගේ කවුරුවත් එන්නේ නෑ, ඩග්ලස් සිරිවර්ධනගේ අඹුසැමියෝ ඇතුළු තවත් නාට්‍ය රැසකම චරිත නිරූපණය කළාය.ඒ හැරුණුකොට ඇය නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනයෙන් ද දායක වූවාය.

ඔබ දන්නවාද 1974 වර්ෂයේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ ඉඩම නාට්‍ය වෙනුවෙන් මර්සි එදිරිසිංහ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නිළිය සම්මානයට ද පාත්‍ර වුනා. පසුව 1975, 1976 දෙවර්ෂයන්හිදී ද පිළිවෙළින් කීරගල ආරච්චිගේ 'තහනම් දේශය' සහ හේමසිරි ලියනගේ ගේ 'නරියා සහ කේජු' වෙනුවෙන්ද ඇය හොඳම නිළිය සම්මානය ලැබුවා. නාට්‍ය කලාව තුළදී එදිරිසිංහ මහත්මිය ලබා තිබූ ප්‍රතිභාව නිසාම නාට්‍ය බෙහෙවින් ජනප්‍රිය වූවා. බොහෝ දර්ශන වාර ගණනක් ද ‍වේදිකා ගතකෙරැණා. මේ නිසා එකල බොහෝ විචාරකයන් ඇය වාසනාවන්ත නිළියක් ලෙස ද හඳුන්වා දුන්නා.ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රයට ද නැතිවම බැරි චරිතයක් වූ ඇය සතියේ දින 5ක් ම ගුවන් විදුලි නාට්‍යවලට දායක වූ යුගයක් ද වූවාය. ඒ අනුව සඳුදාට 'මුවන්පැලැස්ස' ය, අඟහරුවාදාට 'වජිරා' ය, බදාදාට 'සමනල බැද්ද' ය, බ්‍රහස්පතින්දාට 'ඇස් දෙක' ය, සිකුරාදාට 'හන්දියේ ගෙදර' ය. මේ සියල්ල ඇය ඉහළ ජනප්‍රසායක් දිනාගත්තාය.
1952 වසරේ සිට ඇනෙස්ලි, සැමුවෙල්, බර්ටි ගුවන්විදුලියේ ගෙනගිය විනෝද සමයට පසුකාලීන එකතුවූ මර්සි, විනෝද සමයට නව ජීවයක් එක් කලාය. ඒ පිළිබදව ඇය වරෙක මතකය අවදි කර තිබුනේ මේ ආකාරයෙනි.

"විනෝද සමය කියන්නේ මගේ ජීවිතයේ අහඹු සන්ධිස්ථානයක්. දවසක් මම ගුවන් විදුලි කොරිඩෝවෙන් ඇතුළු වෙලා ටික දුරක් යද්දී ඇනෙස්ලි මහත්තයා කතා කළා. එතුමා මගෙන් උදව්වක් ඉල්ලුවා. එදා විනෝද සමය කතා මාලාවේ ගැහැනු චරිතයට පණ පොවන හඬ කැවීමේ ශිල්පියා අසනීපයක් නිසා පැමිණ සිටියේ නැහැ. ඇනෙස්ලි මහත්තයා ඒ චරිතය කරන්න මට ආරාධනා කළාම මාව කරකවලා අතහැරියා වගේ දැනුණා. පුංචි කාලේ ඉඳලම අභියෝග භාර ගන්න පුරුදු වෙලා හිටිය මම එදා ඒ අභියෝගයත් භාර ගත්තා. මට ඇනෙස්ලි මහත්තයා පිටපත දුන්නේ හරියටම 11.30 ට. වැඩසටහන සජීවීව විකාශය වන්නට තිබුණේ 12.00 ට. හැම දේටම තිබුණේ පැය භාගයක්. ඒ පැය භාගයේදී මම පිටපත කියවලා අඩුවක් නැති වෙන්න මගේ චරිතයට හඬ කැව්වා. එදා විනෝද සමයට ඓතිහාසික දිනයක් වුණා. විනෝද සමය පළමු වතාවට කාන්තාවකගේ හඬක් කාන්තාවක් නියෝජනය කළ දවස එදා..."

එසේ රටක් තුටු කල මර්සි අක්කා අද අප අතර නැත. ඇය පිළිබදව නිසි සොයා බැලීමක් බළධාරීන්ගෙන් සිදුනොවූ බව පසුගිය කාලය පුරාව වාර්තා වූවාය. ඇයගේ රෝහල් බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව පවුලේ අය අතිශය අපහසුතාවයන්ට පත්ව සිටියා. ඇයට ආදරය කල සියලුදෙනාම බලා සිටියේ මර්සි අක්කා නැවතත් සුවවී වේදිකාව ප‍්‍රභාමත් කරන ඇයගේ රංගනයන් දැක ගත හැකි වේ යැයි කියාය. එහෙත් අද වන විට ඇය තාරවන්ද සමගින් ඉඟිල ගොසිනි.
උපුටා ගැනීම  ;  හිරු ගොසිප්

0 comments:

Post a Comment